සතුට නැති ජීවිතය හිස් ය! පාලු ය!!


සතුට නැති ජීවිතය හිස් ය. පාලු ය. ඇත්තෙන්ම සතුට නැතිවූ තැන එතැන ජීවිතයක් නොවන්නේය. සතුට එතරම්ම වැදගත් දෙයකි. පහත දැක්වෙන්නේ දුකේ ගැලී සිටිනා මිනිසුන් වෙත සතුට ලබාදෙන්නට උත්තේජනයක් සපයන්ට උපකාර කරන්නාවූ වෙබ් අඩවියක පලවූ එක්තරා කථාවක අනුවාදනයකි.

ජීවිතය විටෙක බොහෝ දුෂ්කරය. දුෂ්කරතාවයන්ට මුහුණ නොදී හොඳින් ජීවත්වීම කිසිසේත්ම කළ නොහැකිය. එසේම අපේ ජීවිතවල හදවත ඉරාදමන කාලවකවානුද නැත්තේම නොවේ.

අප දෙදෙනා වයස 20ගණන්වල සිටියදී පුරා මාස 15ක් පුරා එවැනි කාල වකවානුවක් අපේ ජීවිතවල ද තිබුණි. ඒ කාලයේ අප දෙදෙනාගේ ම රැකියා අහිමිව තිබූ අතර, අප මහත් පාඩු විඳිමින් සිටියෙමු. නිවසේ ආර්ථිකය පිරිහීමට ලක්ව තිබුණේය. අපේ ජීවිතවලට ඒ මූල්‍ය අවිනිශ්චතාවය මහත් සන්ත්‍රාසයක් එක් කළා සේ ම දිනපතාම කනස්සල්ල වෑස්සෙන්නට ද පටන්ගත්තේ ය. කොටින් කිවහොත් එය අසන්තුෂ්ටිය රජකළ කාලයක් ලෙස විස්තර කළ හැකි ය.

දින ගෙවී යද්දී අපේ ජීවිතවල යථාස්වරූපය අවබෝධකරගන්නට අපි ඉගෙන ගනිමින් සිටියෙමු. එහෙත් හදිසියේ අතිශය ප්‍රබල අහිමිවීමක් සිදුවිය. අපගේ ඉතා සමීප මිතුරෙකු හෘදයාබාධයකින් දිවියෙන් සමුගත්තේ ය. අපගේ ජීවිතවල මූලික තැන්හි සිටි පුද්ගලයෙකුගේ වියෝව අපගේ ජීවිතවල දෝමනස්සයන් තීව්‍ර කරන්නට හේතු විය. එම සිදුවීමෙන් කඳුළු වියළෙන්නටත් ප්‍රථම මගේ සහෝදරයා අනපේක්ෂිත අන්දමින් අප අතරින් වෙන්විණි. අපට අපගේ දෙපයින් සිට ගැනීමට නොහැකි වී ගියේ ය.

ඉතාමත් කෙටි කාලයක් තුළ දී අනුපිළිවෙළින් සිදුවූ අහිමිවීම් ගොන්න අප දෙදෙනා තාවකාලිකව ආබාධිත කළේ ය. එකල උදෑසන ඇඳෙන් නැගීටීම අප ජීවිතවල සිදුවූ ප්‍රධාන අර්ථසිද්ධිය බවට පත්වීය. මෙය දුෂ්කරතාවයන්ගේ සැබෑ ස්වරූපයයි. එහෙත් දින සති මාස ගෙවී ගොස් වසරවල් පවා ගෙවී යද්දී අපි අපේ ජීවිත ඉදිරියට තල්ලු කරන්නට ඉගෙන ගතිමු. අපි ඉතාමත් නම්‍යශීලී පුද්ගලයන් බව අවබෝධ කරගැනීමට අපට හැකිවිය. අප වෙත ඒ මොහොතේ තිබූ සියලු දෙයටත් අප වෙනුවෙන් අනුකම්පාව ආදරය දැක්වූ සියල්ලන්වත් අපි මහත්සේ අගය කොට සැලකීමු.

වසර ගණනාවකට පසු නිදහස්ව වාඩිවී සිටිමින් අපට අවංකව කිව හැක්කේ අපගේ ජීවිතවල කටුක වේදනාත්මක්මක කාලයන්ගෙන් අපි ඉතාමත් වටිනා පාඩම් උගත් බවයි. ජීවිතයේ කරදරකාරී කාලයන්, දුක්ඛ වේදනාවන්, කලකිරීම් සමඟ පොරබදන කලාව අපි උගත්තෙමු. ඒ සියල්ලටම වඩා අපි උගත් වැදගත්ම දෙය වන්නේ තමන්ට ආදරය කිරීමේ සහ තමන්ව රැක බලාගැනීමේ ඇති වටිනාකමයි. නැවත අපේ තොල් අතරට සිනාව කැඳවීමේ ඇස්බැන්දුම එයයි.

සත්‍ය ලෙස ම සියලු ම මනුෂ්‍යයෝ ජීවිතයේ දුක්ඛදායී වාතාවරණයන් විවිධ අවස්ථාවල අත්විඳිති. එහෙත් දුක්ඛ දෝමනස්ස කාලයන් අත්විඳීම සහ ඒ නිසාම ඇබ්බැහියෙන් අසන්තෝෂමත් ජීවිතයක් ගත කිරීම අතර විශාල වෙනසක් තිබේ. එසේ වුවත් බොහෝ මිනිසුන් මෙය පිළිගන්නට බිය වෙති. බහුතරයක් ඔවුන්ගේ අසංතෘප්තියට හේතුමූලය කොට ඇත්තේ ස්වයං නොසැලකිල්ලයි.

දශකයක් පුරාවට කරනු ලැබූ ගවේෂණයන්ට අනුව බොහෝ මිනිසුන්ගේ නාස්තික හැසිරීම් ආදර්ශ වශයෙන් ඔවුන්ව පසුගාමී පුද්ගලයින් කිරීමට හේතු වෙයි. මේ නාස්තික හැසිරීම් ලැයිස්තුවේ මුදුනෙහි සිටින්නේ ස්වයං නොසැලකිල්ලයි. නැතහොත් තමා පිළිබඳව නොසලකා හැරීමයි. සාමාන්‍යයෙන් ඔබ සතුටුදායක පුද්ගලයෙක් වුවත් ස්වයං නොසැලකිල්ල යනු ඔබව පහසුවෙන්ම පහලට රූටා දැමිය හැක්කක්.
මින් ගොඩ ඒමේ යතුර වන්නේ ඔබට අවශ්‍ය සහ සුදුසු අතිරේක සාත්තුව සහ අවධානය ඔබට ලබාදීමයි.

ඔබේ හැඟීම් සහ චිත්තවේගයන් නොතකාහැරීම සහ ඒවාට විරෝධය පෑම ඔබට කිසිදු මෙහෙයක් සිදු නොකරයි. එම නොතකාහැරීම් ඔබව ආතතිය, ලෙඩ රෝග, ව්‍යාකූලතාවන්, සම්බන්ධතා පළුදුකිරීම් හා සුනු-විසුණු කිරීම් වෙත ඔබව දක්කනු ලබාවි. එසේත් නැත්නම් තරහව වෙත ඔබව හේත්තු කිරීමට හෝ අවසන ගැඹුරු ඉතා අඳුරු විශාදයකට ඔබට පත්කරනු ලබයි. ඉහත සඳහන් කළ එකදු හෝ කරුණක් පිළිබඳව අද්දැකීම් ඇත්තෙකුට මනසේ ඇතිවන මෙම තත්වයන් සංත්‍රාසය දනවන තරමේ රෝගකාරකයක් බව අපූරුවට පහදාදෙනු ඇත. එසේම ස්වයං නොසැලකිල්ල පුරුද්දක්කොට ගෙන ඇත්තම්, ඉන් පැනගැනීමට නොහැකි තත්වයට ඔබ ඉතා ආසන්න වී ඇති බව දැන්විය යුතු ය.

ඔබේ ජීවිත කාලයෙන් ඕනෑවටත් වැඩි කාලයක් ඔබ විසින්ම ඔබව හැකිළවීමට උත්සාහ දරමින් සිටි බව තරමක් දුරට හෝ පිළිගැනීමට ඔබට සිදුවනු ඇත. එපමණක් නොවේ. පමණට වඩා නිරහංකාරවීමට, අතිශයින් නිහඬවීමට, සංවේදීකම අල්ප කිරීමට, ඇට්ටරගති අඩුකිරීමට, අවසානයේ සියල්ලෙන්ම අඩුවූ ‘ඔබ’ වැන්නෙකු හදාවඩා ගන්නට උත්සාහ දරමින් සිටි බව! ගැටලුව එය නොවේ. සැබෑ ලෙසම ඔබට අවශ්‍ය වූයේ මේ සියල්ල නොව සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි. අන් අය සමඟ එකට ගැවසීමට, අන් අය ඔබට කැමතිවනවා දකින්නට, අන් අය තුළ යහපත් ආකල්ප ඇති කිරීමට, අන් අයට ඔබ අවශ්‍ය, බව දැනීමට. කොටින් කියතොත් මේ සියල්ල නිසා ඔබේ සිතට සහනයක් වන බවත් සිත සුවපත් වන බවත් ඔබ බලාපොරොත්තු වීමයි.

සිතන්න. ඔබ කොයිතරම් අවුරුදු ගණනක් ඔබේ දිවිය අන් අය සතුටට පත් කරන්නට කැප කළා ද යන්න. මේ නිසාම ඒ වසර ගණනාව ම ඔබ විඳවීමක සිටි බව!!

කලක් යාමේදී ඔබේ යටි සිත ඔබටම තට්ටු කරමින් කියන්නේ කුමක්ද? හැකිළී ඉඳ ඇතිවී ඇති බව නොවේද?

වෙනත් අයෙකුගේ අදහසකට අනුව ඊට සුදුසු මිනිසෙකු වීමට දතකෑම ඔබේ කටයුත්ත නොවේ. ඔබේ මාර්ගයේ ගමන්කිරීමට ඔබ දැනටමත් සුදුස්සෙක්! එහෙත් ඒ අන් මිනිසුන් ඔබ ගැන එලෙසින් සිතන නිසා නොව ඇත්තෙන්ම ඔබ එසේ වන බැවිනි. ඔබ ඔබේ හුස්ම නිසා ජීවත් වන බැවිනි. ඔබ අගය කළ යුත්තෙක් වන බැවිනි. ඔබේ අදහස් හා ඔබේ හැඟීම් වටිනා බැවිනි. ඔබේ හඬ වටිනා වන බැවිනි. අනෙකාගේ අනුමැතිය ඇතුව හෝ නැතිව ඔබ ඔබම විය යුතු අතර ඔබට නිවැරදි යැයි සිතෙන අයුරින් ජීවත් විය යුතුය. එවිට, කිහිප දෙනෙකුගේ මුහුණු ඔබට එරෙහිව ඉවතට හැරවුණත්, තවත් ඈයින් අපහසුතාවයට පත්වූවත්, සමහරුන් ඔබව හැරගියත්, ඔබට ඔබ නිවැරදියැයි සිතේනම් එය කළ යුතුය.

ආපදා සහ විපත්තීන් ඔබ සුනු-විසුණු කර තිබෙනවා විය හැකිය. එහෙත් යථාර්ථය වන්නේ ඔබ සුනු-විසුණු වී නැතිවීම යි. ඉදින්, ඔබ විනාශ වී ඇති බව ඔබටම ඒත්තු ගන්වන්නට අනුනට ඉඩක් තබනුයේ ඇයි දැ යි සිතන්න.

ඔබේ දිවියේ වැඩි පරාසයක් ඔබ වෙනුවෙන් ලබාගැනීමට උත්සුක වීම නුවණට හුරුය. තමන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට ඔබේ අවසරය ඔබට ලබාදීමට අමතක නොකරන්න. තමන්ගේ හැඟීම් සතපාගැනීමට උත්සුක වන්න. චිත්තවේගයන්ට ගරුකරන්න. තමන් රැකබලාගැනීම ජීවිතයේ අවශ්‍යතා අතුරේ මුදුනින්ම තබන්න. ඔබ ඔබව තෝරාගන්න.

ඔබ තුළ සතුට සොයන්න. එය ඇතිකර ගැනීමට වෙහෙසවන්න. ඔබ අසතුටින්නම්, ඔබ වටා සිටින ඔබගේ ප්‍රියයන් කිසිවෙක් සතුටින් නොවන බව අවබෝධකරගන්න.

මතක තබා ගන්න සතුට යනු ඔබේ තෝරාගැනීම පමණක් ම බව.


ජීවන්ති කෝසලා

Comments are closed.