මේරි


කර්තෘ – ව්ලැදිමීර් නබකොව්
පරිවර්තනය – ඩී.එම්.එස්. ආරියරත්න
ප්‍රකාශනය – සුභාවි ප්‍රකාශන
මිල – රු.230.00
පිටු – 116
පළමු මුද්‍රණය 2009

ව්ලැදිමිර් නබකොව් ජාත්‍යන්තර කීර්තිධර රුසියානු-ඇමරිකානු සාහිත්‍යකරුවෙකි. ඔහුගේ චිරප්‍රකට නවකතාව ලොලිටා ය.

පූර්ව විප්ලවීය රුසියාවේ ඉහළ පංතියකට අයිතිව උපත ලද නබකොව්ගේ පරපුර රාජ්‍ය පාලනයේ කොටස්කාරයෝ වූහ. සනීපදායක ළමා කාලයක් ගත කළ නබකොව් බාල වියේදී ම ප්‍රංශ, රුසියන් සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වය ම උගෙන උසුරුවන්නට-හසුරුවන්නට සමත් වූවෙක් විය. 1917 සිදු වූ ශ්‍රේෂ්ඨ රුසියානු සමාජවාදී විප්ලවයෙන් පසුව නබකොව් පවුල ගත කළේ පිටුවහල් දිවියකි. රුසියානු ඉහළ පංතිය නියෝජනය කළ නබකොව්ලා සුදු හමුදාව ලෙස හැඳින්වූ ප්‍රතිවිප්ලවීය හමුදාවන් සමඟ එක් ව සෝවියට් පාලනයට එදිරිව කටයුතු කළෝ ය. මුලින් ම ක්‍රිමියාවට පළා යන නබකොව් පවුල පසුව ජර්මනියට සේන්දු වෙති. කෙසේ වෙතත් නබකොව් 1922 සිට කාලයක් ජර්මනියේ නැවතී සිටියි.

නබකොව් විසින් රචිත ඔහුගේ මුල් කාලීන නවකතාවකි මේ, මේරි නම් නවකතාව. ගානින් නමින් දන්නා එක්තරා සුදු හමුදා භටයෙක් තවත් රුසියානුවන් පිරිසක් සමඟ බර්ලිනයේ අඳුරු බෝඩිමක ජීවත් වෙති. ඔවුන් නැතක් පෙළෙන්නේ පීතෘභූමියේ අහිමිවීම පිළිබඳ සාංකාවෙනි. තාවකාලික ආදර අන්දරයක ද පැටලී සිටින ගානින් එක්තරා මොහොතක අහඹු ලෙස දැනගන්නේ සිය අසල්වැසි කාමරයෙහි දිවි ගෙවන්නේ තම බාල වියේ පළමු පෙමෙහි පංගුකාරිය වන මේරිගේ විවාහක සැමියා බව යි. ඇය එනතුරු බලා සිටින ඇගේ සැමියා ද ඇය එනතුරු ම එවක් පටන් බලා සිටිමින් සොඳුරු මියුරු පැරණි පෙමෙහි මතක වළා අතර නිමග්න වන ගානින් ගැන මේ කෙටි නවකතාවෙහි එයි.

1920 තරම් ඈතක මුද්‍රණයෙන් පළ ව ඇති මෙහි මුල් කෘතිය ඉංග්‍රිසියට පරිවර්තනයව ඇත්තේ 1970 දී ය. මෙහි අන්තර්ගතයට බලපෑම් කර ඇත්තේ ව්ලැදිමීර් නබකොව්ගේ ම බර්ලින් දිවිය බවට සැකයක් නැත. ඍජු විවේචන සහ දේශපාලන කයි-කතන්දර රහිත වූයේ වුව ද මෙහි යටිපෙළින් යම් දේශපාලනයක් දිව නොයන්නේ යැ යි කිව නොහැකි ය. පිටුවහල් දිවියේ නීරසභාවය සහ පියබිමේ ඇති සුන්දරත්වය ආදිය සමඟ එය බැඳී තිබෙයි.

කාලය, මතකයන් සහ සොබාදහම අතර සබැඳියාවේ ගැඹුර මේරි නවකතාවෙන් පාඨකයා වෙත ගෙන එනු ලබයි. මතකයෙහි බැඳී ඇති විවිධ ගන්ධයන්, විවිධ ස්ථානයන්, හිරුරැස් පතිත වුණු අන්දම් ආදිය පූර්ව ප්‍රේමයන්හි ඉමිහිරි මතකයන් සිහිකර නොදෙන්නේ ද?

“තුනී කමිසය තුළ ගල්ගැසෙමින්, වෙහෙසට පත් වූ ගානින් තමා දෙසම තරහින් බලමින් සියල්ල අවසන් බව තීරණය කළේ ඒ මොහොතේ ය. ඔහු තවදුරටත් මේරි කෙරෙහි නොඇලුණේ ය. මඳ වේලාවකට පසු තුනී සඳඑළියේ අවපැහැ මඟ දිගේ නිවස දෙසට බයිසිකලය පැදගෙන යද්දී තමා නැවත කිසි දිනෙක ඇයව හමු නොවන බව දැන සිටියේ ය.”
මේරි
75 පිටුව

ඉතා කුඩා කෘතියක් වුව ද, පරිවර්තකයා කෘති කිහිපයක් පරිවර්තනය කර නමක් රැන්දූ අයෙක් වුව ද මේරි සිංහල පරිවර්තනය කියවීමට වෙහෙසකර ය. සමහර වාක්‍ය දුරවබෝධ ය. පැටලිලි සහිත ය. පරිවර්තන කාරිය සාර්ථක වී ඇතැ යි කිව නොහැකි ය.


සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.