දවසේ පහන නිවා හිරු ද නිදැල්ලේ…


ලාංකේය ගීපද රචන ඉතිහාසය පුරා ප්‍රේමාරාධන ගී කොතෙක් නම් ලියැවී ඇත් ද? ප්‍රේමකීර්ති ද අල්විස් නම් පුරාවෘත්තය අතින් ලියැවුණු මේ ගීතය ඔහුගේ නේක-අනේක ගී අතර මහත් ජනප්‍රිය වූවක් නොවේ යැ යි සිතමි. මේ පද ගැලැපුම සේම යුග ගීයක් වන මෙහි යුගලය ගැලැපුම පවා අමුත්තක් ජනිත කරවයි.

නාගරිකමය හඬකැ යි කිවහැකි හඬකින් ගී ගයන සමන් ද සිල්වා මෙහි ගායකයා ය.මෙහි දී ද ඔහු නාගරික තරුණයෙක්ගේ සිතුම් නියෝජනය කරමින් ගයන්නේ යැ යි පදරචනය විමසද්දී සිතෙයි. ගායිකාව නැසී ගිය ප්‍රකට ගායිකා මාලිනී බුලත්සිංහල ය. සත්සර මුසුව ක්ලැරන්ස් විජේවර්ධන මියැසි සුරුවාගෙනි. හැන්දෑවක කඩිමුඩියේ දිවයන තරුණ ළඳකින් නැගෙන පැනයකින් ගීය ඇරැඹෙයි.

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ.
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

මුල්පද පෙළ අනුව මේ නම් සයුරාසන්නයේ ඇති ගමකි. අඳුර වැටෙන්නට ඔන්න-මෙන්න වාගේ ය. ඒ හදිසි ගමන නාගරික තරුණායාට වෙසෙසක් වැන්න. යුවතිය පිළිතුර මෙලෙස පෙළගස්වන්නී.

රත්තී බැඳපු තැනින් ලෙහා ගෙනෙන්නේ
අඳුරේ අපට හුරුයි ගමනෙ උපන්නේ
අපි නෑ සඳට අඬන්නේ
අඳුරෙයි එළිය දකින්නේ

ඇය දිවයන්නේ රත්තී ලිහා ගෙනෙන්නට යි. අඳුරේ ගමන හුරු පුරුදු ඈ වෙසෙන්නේ ගමක බැවිනි. සයුරාසන්න ගමක ගවපාලනය පැවතීම ගැන ඇත්තේ කුකුසකි. කෙසේ වෙතත් දාර්ශනික සත්‍යයක් වැන්නක් ගැබ්වෙන පද පෙළකි, “අපි නෑ සඳට අඬන්නේ – අඳුරෙයි එළිය දකින්නේ” යන්න.

පි – අද නෑ පෝය දිනේ
විලස සඳේ එළිය මෙහේ
තනිවෙයි නේද නඟේ
තනිය මකා ගන්නේ කෙසේ..

ගැ-ඉපදී මියෙන තුරා
ඉන්නෙ ලොවේ තනිවම නේ
කම් නෑ තනිය හොඳා
නුහුරු හැඟුම් සිතට නො ඒ…

මේ අන්තරා කොටසෙන් තරුණයා සිය ආදර ඇරැයුම තරුණිය වෙත පිරිනමයි. ඈ එය නොසලකා හරින්නී, හුදෙකලාව අගනා බව කියමිනි.

පි – තනි වී නොයනු නඟේ
ඉන්න මෙමා එම්ද නඟේ
නැති දෝ සිතට නුඹේ
දැනුනෙ තවත් මිහිර පෙමේ..

ගැ – කුඹුරේ කමතෙ ගමේ
නාන තොටේ හතර වටේ
පැතිරේ නේක කතා
එන්න එපා පිං සිදුවේ..

ගම සහ නගරය අතර පරතරය වියැකී යන්නට පෙර අත්දැකීමක් මේ ගීය හරහා රසවිඳිය හැකිවෙයි. කතා පැතිරෙන බැවින් තමා කෙරේ පිළිබඳ සිත් ඇති කර නොගන්නැ යි ඈ ඔහුට කියන්නී ය. තරුණ යුවළක් මෙලෙස හමුවීම අයත් වෙන්නේ ටිකක් පැරණි ඉතිහාසයට ය. නූතනයේ තාක්ෂණ දියුණුව දශක එකහමාරක දී පමණ දිගු පිමිවලින් මිනිසුන් අතර සංනිවේදනය අතිසමීප කරනු ලැබුවේ ය. යොවුනන් අතර දැන් කතා-ලතාවලට අවසරකල් රහස් තැන ඇති සයිබර් අවකාශීයය ඉඩවල් අපමණ ය. ගම-නගරය පරතරය දියවී ගොස් ඇත. එසේ වී නමුත් ගෝත්‍රික චින්තනයෙන් තවමත් මානුෂීය සබඳතා දෙස හෙළන බැල්මවල් ගමෙහි නගරෙහි කියා වෙනසක් නැතිව තවමත් ශේෂ වී තිබේ.

අතීතකාමී මී මිහිරක් ජනිත කරන මේ ගීය ලාංකේය ගී-සංගීත කෙතෙහි සුරුවන් කිහිපදෙනෙක්ගේ සමෝධානය මනාව පෙන්වන්නකි.



සඳුන් ප්‍රියංකර විතානගේ

Comments are closed.