ජීවිතාශාව දැල්වීම ගැන – ඉසබෙල් අයන්ඩේ (Isabel Allende)

issabel
ඉසබෙල් අයන්ඩේ (Isabel Allende) චිලි ජාතික ගත්කතුවරියකි. චිලියෙහි වාමවාදී ජනපතිවරයාව සිට සටනේ දී මියගිය සැල්වදෝර් අයන්ඩේගේ ඥාති දියණියක වන ඇය මායා යථාර්ථවාදී රීතියෙන් සාහිත්‍යකරණයේ යෙදෙන්නී ය. බොහෝ කෘති ප්‍රමාණයක් රචනා කර ඇති ඇය ලබා ඇති සම්මාන සහතික ප්‍රමාණය ද ඉතා විශාල ය. ඇගේ කෘති කිහිපයක් සිංහලයට ද පරිවර්තනය වී ඇත. The House of the Spirits කෘතිය “මායා වාස” නමින් ද Eva Luna “ඊවා ලූනා” නමින් ද වූ පරිවර්තන මෙරට මහත් ප්‍රසාදයට ලක් විය. ප්‍රගතිශීලී ආස්ථානයන් දරන සමාජ ක්‍රියාකාරිනියක් ද වන ඉසබෙල් විසින් කරන ලද ප්‍රසිද්ධ දේශනයක පරිවර්තනයක් පහත පළ වෙයි. ඇය එහි දී මතු කරන්නේ ජීවිතාශාව දල්වන හැඟීම් පිළිබඳව යි.

ජීවිතාශාව දල්වාලීම සම්බන්ධයෙන් කතන්දර කිහිපයක් ඔබට පවසන්න කැමතියි.

මම ඉතා අගය කරන යුදෙව් භාෂිතයක් තිබෙනවා.

සත්‍යට වඩා සත්‍යය කුමක් ද?
එහි පිළිතුර: කතාන්දරය.

මම කතන්දර කියන්නියක්. මට ලියන්නට අවශ්‍යයි සමස්ත මානව ප්‍රජාව ගැන සත්‍යට ඔබ්බෙන් ඇති සත්‍යය ගැන. සියලුම කතාන්දරවලට මම කැමැතියි, ඒවා සමහරක් මාව ඩැහැගෙන මගේ ලියැවිලි තුළින් එළියට එනවා. ඒවා මෙබඳු මාතෘකා: යුක්තිය, අයිතීන්, ප්‍රණ්ඩත්වය, මරණය, දේශපාලන සහ සමාජ කාරණා, නිදහස . අප වටා ඇති සමහර අබිරහස් ගැන මම උනන්දුයි. ඉතින් මම ලියනවා ඒ සිදුවීම් ගැන, අසුබ දේවල් ගැන, හැඟීම් ගැන, සිහින ගැන, සොබාදහමේ බලය ගැන වගේ ම ඉන්ද්‍ර ජාල ගැනත්.

පසුගිය අවුරුදු 20 ඇතුළෙ මම පොත් කිහිපයක් ප්‍රකාශයට පත් කළා වුණත් මම 2006 වසර දක්වා හිටියෙ එතරම් ප්‍රසිද්ධව නෙවෙයි. ඉතාලි ධජය ඔලිම්පික් උළෙලෙදි රැගෙන යාමේ අවස්ථාව එනතුරු මම එතරම් ප්‍රසිද්ධියට පත්ව සිටියෙ නැහැ කිව්වොත් වඩාත් නිවැරදියි. ඔලිම්පික් ධජය ගෙන යෑමට ලැබුණු මොහොත මට ප්‍රසිද්ධිය ගෙනාවා. මිනිසුන් මා ගැන යම් පමණකට දැනගත්තෙ එයින් තමයි. මම කැමතියි ඒ සුවිශේෂී මොහොත ගැන යමක් ඔබට කියන්න. ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් මට දැනුම් දුන්නා ධජ දරාගෙන යන අයෙක් ලෙස මාවත් තෝරාගෙන ඇති බව. මම ඔවුන්ට පෙරළා දැනුම් දුන්නෙ ඔවුන්ට යම් වැරදීමක් සිදුව තිබෙන බවත් මම මළල ක්‍රීඩාවලින් හුඟක් ඈත කෙනෙක් බවත්. ඇත්තට ම ආධාරකයක් නැතිව විශාල පිට්ටනියක ඇවිද යන්නෙ කොහොම ද කියලයි මම හිතුවෙ. කාන්තාවන් පමණක් ඔලිම්පික් ධජය ගෙන යන පළමු අවස්ථාව මේ විය යුතුයි . කාන්තාවන් පස් දෙනෙක්, මහාද්වීප පහක් නියෝජනය කරමින්. ඒ අතර ඔලිම්පික් රන් පදක්කම්ලාභී කාන්තාවන් තිදෙනෙක්. මගෙ පළමු ප්‍රශ්නෙ වුණේ මම ඇඳන් යන්නෙ මොකක්ද ? – නිල ඇඳුම, ඇය (ඔලිම්පික් කමිටුව වෙනුවෙන් කතා කළ) කිවුවා, ඒ ගමන් ම මගෙ ශරීර ප්රිමාණය ඇහුවා.. මට මා ගැන තක්සේරුවක් තිබෙනවා. මිචලින් මෑන්ගේ ( මිචලින් ටයර් ප්‍රචාරණය සඳහා යෙදෙන ටයර් වලින් සැදි මිනිස් රුව) පෙනුම තමා මගෙ පෙනුම..

පෙබරවාරි මාසෙ මැද, මම උන්නෙ ට්යුරින් නගරයෙ උද්යෝගිමත් ප්‍රේක්ෂකයන්ගෙ ජයඝෝෂා මැද්දෙ, ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායම් 80ක් එක්ක. මම ට්යුරින්වලදි මාව ම සොයා ගත්තා වගෙයි. උද්‍යෝගිමත් ප්‍රේක්ෂකයන් විසින් මේ කණ්ඩායම් 80 වෙනුවෙන් වීදි පුරා ජය ඝෝෂා නගමින් සිටියා. මේ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සියල්ල කැප කර තිබුණු අය. ඔවුන් හැමෝම ජය වෙනුවෙන් පේවි සිටි නමුත් දෛවයේ තීරණය අබියසයි සිටියේ. හිම කැටිත්තක්, අයිස් කැටිත්තක්, සුළඟෙහි වෙනසක්, ආදි කිනම් කුඩා දෙයකට වුවත් ක්‍රීඩාවේ හෝ තරගයේ ජය-පරාජය තීරණය කළ හැකිව තිබුණා. කොහොම වුණත්, වැදගත් ම පැනය වුණේ — බලවත් පුහුණුව ද? වාසනාව ද? — හදවත. නිර්භය සහ අධිෂ්ඨානශීලී හදවත් පමණයි රන්පදක්කම් කරා ළඟා වෙන්නෙ. මේ සියල්ල ලාලසාව ගැන.

ලාලසාත්මක ජීවිත. ඒක නොවෙයි ද ඇත්ත? හදවතෙහි අධිෂ්ඨානය අපව ජයග්‍රහණය කරා ගෙනයනවා. මෙයයි මට අවශ්‍ය මගෙ පොත්වල චරිතවලින්: ජීවිතාශාව දල්වන හදවතක්. මට අවශ්‍යයි නිදහස් මතදරන්නන්, විමතිකයන්, වීරයන්, පිටස්තරයන්, කැරලිකරුවන්, ප්‍රශ්න නගන්නන්, රැඩිකලුන්, අවදානම් දරන්නන් මගෙ කෘතිවල චරිත අතරින් මතු කරන්නට.

ක්‍රීඩාගාර සංකීර්ණයන්හි පිහිටි කොළපැහැති කාමරයක දී අනෙක් ධජ දරන්නියන් මට හමු වුණා: ක්‍රීඩිකාවන් තිදෙනා, නිළියන් වන සුසෑන් සරන්ඩන් සහ සොෆියා ලොරේන්. ඒ වගේ ම ජීවිතාශාව දල්වන හදවත් දෙකක්:

වන්ගාරි මතායි, නොබෙල් සම්මානලාභී කෙන්යානු කාන්තාවක්. මිලියන 30ක් රුක් රෝපණය කළ ඇය එමගින් පසෙහි සංයුතිය වෙනස් කර තිබුණා. එමගින් කාළගුණය වෙනස් කෙරුණා පමණක් නොවෙයි, අප්‍රිකාවේ සමහර පෙදෙස්හි ගම්මානවල ආර්ථික සාධක පවා වෙනස් කරන්නට සමත්ව තිබුණා.

අනෙක් කාන්තාව සොමලි මම්, ළමා ගණිකා වෘත්තියට එරෙහිව සටන් කළ කාම්බෝජ ක්‍රියාකාරිනියක ඇගේ සීයා ඇයව වයස 14 දී ගණික නිවාසයකට අලෙවි කර තිබුණා. ඉතා ලාබාල දැරියන් දූෂණය කරන මිනිසුන් එය ඒඩ්ස්වලට ප්‍රතිකාරයක් ලෙස සලකන බව ඇය අපට පැවසුවා. මෙවැනි ගණිකා නිවාසවල දැරියන්ට දිනකට 5-15 ත් අතර මිනිසුන් පිරිසක් පිනවන්නට සිදුව තිබුණා. එයට එරෙහි වූ විට විදුලිය යොදාගෙන මහත් කෘර ලෙස දැරියන්ට වධ දෙනු ලැබුවා.

කොළ පැහැති කාමරයේ දී මට ධජ දරන්නියගේ නිල ඇඳුම ලැබුණා. ඒක සාමාන්යර ඇඳුමක්, මම කළින් සිතූ පරිදි මිචලින් මෑන්ගෙ ඇඳුම වගේ නොවෙයි. ඇත්ත වශයෙන් ම නරක නැහැ. මම ඒක ඇන්දම පෙනුණෙ ශීතකරණයක් වගේ වුණත්.
ධජ දරාගෙන යන පිරිස අතර සිටියා සොෆියා ලොරේන්. රූමත්බවේ සහ සරාගයේ විශ්වීය සංකේතය! ඇයට වයස අවුරුදු 70 ඉක්මවා සිටියත් තවමත් රූපශ්රීිය බැහැරව ගොස් තිබුණේ නැහැ.. ඇය රාගිකයි, උසයි වගේ ම හීන්දෑරියි. ඇගේ සම තවමත් කාන්තිමත්. ඇය එසේ සම රැළි නොවැටී පවත්වාගන්නේ කොහොම දැ යි මම දන්නේ නැහැ. වරක් ඇගෙන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී විමසුවා “ඔබ කොහොම ද තරුණකම රැකගන්නෙ?” ඇය පිළිතුරු දුන්නා, “නිවැරදි ඉරියවුව. මගෙ පසුපස සැමවිට ම තදයි. මම වයසක අය වගේ ශබ්ද නගන්නේ නැහැ.” ඒක ලොව රූමත් ම කාන්තාවකගෙන් ඔබට නොමිලේ ලැබුණු උපදේශයක්. (සභාවේ සිනා නැගෙයි)

issbel-2
මධ්‍යම රාත්‍රියේ දි පිටියට එන්නැ යි අපට කැඳවුමක් ලැබුණා ධජ දරාගෙන යෑම සඳහා. ඔලිම්පික් සංගීත වාද්‍ය ඛණ්ඩය වැයෙන්න ගත්තා. සොෆියා ලොරේන් මගේ ඉදිරියෙන් දකුණු පැත්තේ සිට ධජයේ කොන අල්ලාගෙන සිටියා. මගේ ප්‍රමාණය ඇගේ කකුලක් තරම් ඇති. ඇය ඉතා කදිමට පාද තබමින් ඇවිද යන්නට වුණා. හරියට අප්‍රිකානු සැවනා තණබිමක ඇවිදින ජිරාෆයෙක් වගේ. ධජය ඇගේ උරහිස මත රැඳී තිබුණා. මමත් පසුපසින් ඇඟිලි තුඩුවලින් ඇවිදිමින් ආවා. ධජය මගේ උරහිසේ දරාගෙන ආවත් මම හිටියෙ ඒක යට. සියලු කැමරා එල්ල වුණේ සොෆියා දෙසට. වාසනාවකට වගේ සියලු ඡායාරූපවල වගේ මම හිටියෙ සොෆියා ලොරේන්ගෙ කකුල් දෙක අතර. එනම් පිරිමින් විශාල ප්‍රමාණයක් ආදරය කරපු තැන. (සභාවේ සිනා නැගෙයි)

මගේ ජීවිතයේ හොඳම විනාඩි හතර ඔලිම්පික් පිටියේ ගත කළ එම විනාඩි හතරයි. මගේ වයස විසින් මොළයේ සෛල විනාස කළ දවසක වුණත් එය මතකයේ රැඳෙනවා නම් මම කැමැතියි.

ලාලසාව හෙවත් ජීවිතාශාව දැල්වෙන නිමේෂ සහ සිදුවීම් එබඳුයි.

මේ කතාවත් එබන්දක්. ඒක සිදුවුණේ 1998 අවුරුද්දෙ. කොන්ගෝවෙ සරණාගතයන් රඳවා තිබුණු සිරකඳවුරක. මෙහි සිටි පිරිසගෙන් 80%ක් සමන්විත වුණේ කාන්තාවන්ගෙන් සහ දැරියන්ගෙන්. අපිට ඒක කොන්ගෝ මරණීය කඳවුර කියලත් හඳුන්වන්න පුළුවන්. කවුරුවත් එහි මිනිසුන් මරා නොදැම්මත්, විෂබීජ සහ හාමත විසින් ඒක යසට කර දැමුවා. මේ කතාවෙ කතා නායිකාව තරුණ කාන්තාවක්. ඇය රෝස් මපෙන්ඩෝ. අනෙක් අය ඇගේ දරුවො. ඇය ගැබිණි වැන්දඹුවක්. සොල්දාදුවො ඇයට බල කළා ඇගේ සැමියාට වධ දී ඝාතනය කරන අයුරු නරඹන්නට.

කොහොම නමුත් ඇය සමත් වුණා ඇගේ දරුවන් සත් දෙනා රැකගන්නට. මාස කිහිපයක් ඇවෑමෙන් ඇය නොමේරූ නිවුන් දරුවන් දෙදෙනකුට උපත දුන්නා. කුඩා දුබල පිරිමි දරුවන් දෙදෙනෙක්. පෙකණිවැල් කපා දමා තිබුණේ ඇගේ ම කෙස්ගස්වලින්. ඇගේ කිරි දරුවන් පෝෂණය කරන්නට සෑහුණේ නැහැ. ඒ අතර සිරකුටිය කඩා දැමූ සෙබළුන් වැඩිමහල් දියණිය දූෂණය කළේ ඇගේ හිසට තුවක්කුව තියා පළායාම වළක්වමින්. මාස 16කට පසුව හදිසියේ අසාමාන්‍ය වාසනාවක් උදා වුණා . ජීවිතාශාව දල්වන හදවතක් ඇති තරුණ ඇමරිකානුවෙක් (සාශා චනොෆ්) එක්සත් ජාතීන්ගේ ගලවා ගැනීමේ සැලසුමක් හරහා රෝස් මපෙන්ඩෝ සහ ඇගේ දරුවන් නව දෙනා බේරාගනු ලදුව දැන් ඔවුන් ඇරිසෝනාහි දිවි ගෙවමින් සිටිනවා.

මතු සම්බන්ධයි

Comments are closed.